Monday 2nd of February 2026

English Tamil
Advertiesment


ගල් අඟුරු සැපයුම්කරු ජනපති අනුරගෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි


2026-01-28 1393

 

අනුර එකඟ වෙයි - දිගටම සපයන්න කියයි 

 

නොරෙච්චෝල බලාගාරය අවශ්‍ය ගල් අඟුරු අඛණ්ඩව කිසිදු ප්‍රමාදයකින් තොරව සැපයීමට ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම සිය එකඟත්වය පළ කර ඇත. නොරොච්චෝල අඟුරු සැපයුම්කරු (Trident Chemphar) සහ ජනපති අනුර කුමාර දිසානායක අතර දුරකතන සාකච්ඡාවක් සිදුවී ඇත.  ගල් අඟුරු සැපයීමේ දී මතුව ඇති තත්වය පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී ඇති අතර, මෙහි දී සැපයුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ සියළු සැපයුම් සාම්පල ‘තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවකට’ අවසර ලබා දෙන ලෙසය. 

පළමු ගල් අඟුරු නැවේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් සැපයුම් සමාගමට ලංකා රජය විසින් දඩයක් නියම කර ඇත. දෙවන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය නියමිත මට්ටමින් පැවතී ඇති අතර මේ වන විට විදුලිබල මණ්ඩල‍යේ නිලධාරීන් පවසන්නේ තුන්වන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය දුර්වල බවයි.   

සෑම නැවකම ප්‍රමිතිය පැටවීමේ හා නොරොච්චෝලේ දී දෙවරක් පරීක්ෂා කෙරේ. ලෝකයේ පිළිගත් රසායනාගාරයක් වෙත පළමු නැවේ සාම්පල යැවීමට බලශක්ති අමාත්‍යාංශය අවසර දී තිබු නමුත් දෙවන හා තුන්වල නැව්වල ප්‍රමිතිය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරිමට නොරෙච්චෝල බලධාරීන් අවසර දී නැත. තමන්ට ගිවිසුම් අනුව ‘අම්පයර් සාම්පල්” පරීක්ෂණයට අවස්ථාව ලබා දෙන ලෙස සැපයුම්කරුවන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.

තම ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බැවින් දෙපාර්ශවයම එකඟවන තුන්වන පර්යේෂණාගාරයකින් නැවත පරීක්ෂණ වාර්තා ලබාගැනීමට සැපයුම් සමාගම ඉල්ලා ඇත. 
ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගිවිසුම් අනුව කටයුතු කළ  හැකි බවත්, නැවත පරීක්ෂණ වාර්තා අනුව කටයුතු සිදු කිරීමට තමන් සුදානම් බව ප්‍රධාන සැපයුම්කරු ජනාධිපතිවරයාට සහතික වී ඇත.

ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ගිවිසුම් ප්‍රකාරව ගල් අඟුරු සැපයීම  බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන ලෙස ය. සැපයුම්කරුවන් එයට එකඟත්වය ලබා දී ඇත. 

විදුලිබල මණ්ඩලය විසින් නිසි පහසුකම් නොමැතිව ලංකාව තුල ගල් ඇඟුරු පරීක්ෂා කර ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බවත්, ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කරීම අවහිර කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. විදුලිබල මණ්ඩලය විසින් කිසිදු විධිමත් අවසරයක් නොමැතිව සිදු කරන නිල නොවන වර්තා මාධ්‍ය මගින් එළිදැක්වීම හේතුවෙන් මේ වන විට අන්තර් ජාතික මට්ටමේ අර්බුදයක් ගොඩ නැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා වෙත සැපයුම්කාර සමාගම විසින් දැනුම් දී ඇත. 

දැනට ගල් අඟුරු නැව් හතරක් මෙරටට පැමිණ ඇති අතර, තවත් නැව් දෙකක් පුත්තලමට  ආසන්න මුහුදේ නැංගුරම් දා ඇත. ලංකාව බලා පැමිණෙමින් ඇති එක් නැවකි.  දකුණු අප්‍රිකා වරායවල තවත් නැව් දෙකකට මේ වන විට ගල් අඟුරු පටවමින් ඇත.

Advertiesment